වළා හංදිය,
මට උඹේ පොඩි කාලේ මතක් වුනාය. උඹ පොඩි කාලේ හරියට හඳ වගේය. වැඩි කාලයක් ඉන්නේ බාගෙටය. මාසෙකට එක දවසක් සම්පූර්ණ වෙනවාය. එදාට පිස්සුය. උඹත් හරියට ඒ වගේය. උඹ තාමත් ඒ වගේය. ගිය අවුරැද්දෙත් මේ කාලේ උඹ ගැන සෑගෙන්න මිනිස්සු කතා වුනා වගේ මතකය. ඒ සැරේ නම් උඹ සිරි ලංකාවත් එක්ක මොකක්දෝ හුටප්පොරයක් ඇතිකොරගෙන හිටියා වගේ මතකය. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා ටැලිවිසොනයේ තට්ට කොලුවෙක් කීවාය. ඒක නිසා මේ සැරේත් උඹ ටැලිවිසොනයේ ඉන්නවා යැයි මිනිස්සු කියනකොට මම බය වුනාය....
උඹේ කෑම, බීම කොහොමද ?. නාන්නේ වතුර මලෙන් හරි නිල් කැටේට වතුර තියන පොකුණෙන් බව අල්ලපු ගෙදර එකී කියනවාය. ඒක සැපදැයි මං ඒකිගෙන් ඇසුවෙමු. රජ සැප ඇති යැයි ඒකි කිව්වාය. උඹ පොඩි කාලේ නම් නෑ පහල ලිඳෙන්ය. උඹම තනියම ඇඳගෙන නෑවාය. අල්ලපු ගෙදර උන් නාන්න යනකොටත් උඹ ගිහින් උන්ටත් වතුර ඇඳ දී උඹත් නාගත්තා මතකය. උඹ තාමත් නානවා ඇත්තේ අර පොකුණෙන් වතුර ඇදගෙන වෙන්න ඇති යැයි මං අල්ලපු ගෙදර එකීට කීවාය.
උඹ තාමත් නයි, සරැපයි ඇතිකරනවාද ?. උඹ පොඩි කාලෙත් අහල පහල ඉන්න නයි ගේ ඇතුලට දාගෙන ඇති කෙරැවාය. ඔඩොක්කුවේ තියාගෙන කිරි පෙව්වාය. දවසක් එක සරැපයියෙක් ඇඳ උඩ තියාගෙනම උඹට නින්ද ගිය වෙලාවක ඌ උඹේ කලිසම ඇතුලට රිංගා ඌ කල නරි නාඩගම උඹට මතකයැයි සිතමි. දැන් නම් උඹ අහක යන සරැපයි රෙද්ද අස්සේ දාගන්නේ නැතැයි සිතමි. මොකද උඹ දැන් ඉන්නේ " කනවෝ කනවෝ " කිය කියා උඩ පනින්නට පුලුවන් වයසක නොවේය.
අල්ලපු ගෙදර එකී නම් ආපහු ආපහු කියන්නේ උඹ සිරි ලංකාවත් එක්ක හුටප්පොරයක ආපහු පැටලී ඇත කියාය. මට නම් ඔය පුරස්න තේරෙන්නේ නැත. එලොව හංදියේ තේ කඩේ එකා නම් කිව්වේ එලොව ඉඳලා බැලුවත් සිරි ලංකාව පේන්නේ නෑ කියාය. ඇමොරිකාව, එංගලන්තය නම් පේනවා කියාය. උන් කරන ජුගුප්සාජනක වැඩ මෙහාට පේනවා කියාය. වටේ පිටේ උන් ඉන්නේ ඒ රටවලින් එකෙක් මෙහෙට එනකම්ය. ඒත් ඒ රටවලින් මෙහාට එකෙක්වත් එන්නේ නෑ කියා පාරේ බස් එකේ ඩ්‍රැයිවර් කොලුවා කිව්වාය. උන් අපාය හංදියෙන් බහින බව ඌ කිව්වාය. උඹත් දිගටම ඔය විදිහට හිටියොත් උඹවත් අලුත් අපාය හංදියෙන් බස්සනවා යැයිද උඹලට යන්න අලුත් අපායකුත් දැන් හදාගෙන යන බවද ඌ කිව්වාය. මට ඒ කතාව තේරැණේ නැත. ඒත් අපාය උනත් අලුත් නම් කමක් නෑ කියා මම හිත හදාගත්තාය. ඩ්‍රැයිවර් කොලුවා නම් කියන්නේ කණ්ණාඩි දැම්මත් උඹේ ඇස් පෙනීම හොඳ නෑ කියාය. " අසූචි වලක බැහැලා ඇවිත් අසූචි ගඳයි " වගේ වැඩ උඹ කරන බව ඌ කිව්වාය. ඌ නං කියන්නේ තුන් සූත්‍රය කියවලා ගිහින් හුජ්ජා කරලා බුදියගන්නේ නැතුව උඹ මේ කරන වැඩ වලට කෝවේ දාලා මැකෙව්වත් මදි කියාය. මං ඌට හැරමිට්ටෙන් ගසා පැන්නුවාය.
මේ දවස්වල මට ලියුම් ගොඩාක් ලැබෙනවාය. මට කියවන්ට බැරි නිසා පුලු පුලුවන් විදිහට කියවන්නේ අල්ලපු ගෙදර එකීය. ඒකි කියන්නේ හැම ලියුමකම තියෙන්නේ " බංකියාගේ අම්මාට බුදු සරණයි ", " මූනාගේ අම්මා වැජඹේවා " වාගේ කතාය. ඉඳහිට එකෙක් දෙන්නෙක් උඹේ ආච්චි අම්මා ගැනද මතක් කර තිබුණාය. උඹ මිනිස්සු අතර සෑහෙන්න පොරසිද්ධ මිනිහෙක් වෙලා කියලා අල්ලපු ගෙදර එකී කිව්වාය. මේ දවස්වල මට හෙම්බිරිස්සාව තද වී තියෙන්නේද ඕක නිසා වෙන්න ඇති යැයි මං ඒකිට කිව්වාය. අනේ උඹට දවසින් දවස හරියන්න යැයි මං කියනවාය. මං නවතිනවාය. හොඳින් හිටපං.




